BREAKING NEWS
Search

මාර්ගයේ ගමන් ගත් තරුණියන් බිය ගන්වා මාල කැඩු දෙදෙනෙකුට වැඩ වැරදුණ හැටි

929
මාර්ගවල ගමන් කරමින් සිටි කාන්තාවන් බිය ගන්වා ගෙළබැඳි රන්මාල කොල්ලකෑමේ සිද්ධියකට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
ලද තොරතුරක් මත අනුරාධපුර, කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් මොවුන් සිය භාරයට ගෙන ඇති බවයි පොලිස් මූලස්ථානය කියා සිටියේ.

සැකකරුවන් දෙදෙනා මාර්ගයේ ගමන් කරමින් සිටින තරුණියන් සමීපයට ගොස් ලිපිනයක් විමසමින් ඔවුන් බිය ගන්වා මෙම කොල්ලකෑම් සිදු කර ඇති බවටයි මූලික විමර්ශනවලදී පොලිසිය අනාවරණ කරගෙන ඇත්තේ.
 
රත්මලාන ප්‍රදේශයේ මෙලෙස රන් මාල සොරකමක් සිදු කර අනතුරුව, තලාව කිරලෝගම ප්‍රදේශයේ සැඟව සිටින බවට පොලිසිය වෙත තොරතුරු ලැබි තිබුණා.
 
අදාළ කොල්ලකෑම සිදු කළ යතුරු පැදිය සහ ඔවුන් විසින් සොරාගත් රන් මාලයක් ද තම භාරයට ගත් බවයි පොලිසිය කියා සිටියේ.
 
සැකකරුවන් වයස අවුරුදු 21 සහ 32 යන වයස් කාණ්ඩල පසුවන්නන් වන අතර ඔවුන් තලාව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව ද සඳහන්.
 
මොවුන් තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.