BREAKING NEWS
Search

“බේල්ස්ට 2020 වෙද්දී අවුරුදු 18ක් වෙන්නෙ කොහොමද? මොකද ගණන් බැරිද?” – සියදිවි හානිකරගන්න ඕනි බව කියමින් ලෝකයේම අවධානය දිනාගත් පොඩ්ඩාගේ අම්මාගෙන් සැර කතාවක්

628
බේල්ස් වෙනුවෙන් වූ අරමුදල ඩොලර් 618,000 ද ඉක්මවලා…
ඒ වැඩසටහන විකාශය වෙද්දි ඔහුට අවුරුදු හතරයි..
බොරු චෝදනා රාශියක් හමුවේ පොඩ්ඩාට සිදු වූ දේ..
 
“අම්මේ, මට පිහියක් දෙන්න, මට සියදිවි හානි කරගන්න ඕනෑ. මට දැන්ම මැරිලා යන්න ඕනෑ” යැයි තම පුත්‍රයා පවසන බව සඳහන් කරමින් යාරකා බේල්ස් සමාජ ජාලා වෙත මුදා හැර තිබුණු පණිවුඩය ලොව පුරා පැතිර ගියේ එසැණිනි.
 
මේ වීඩියෝ පණිවුඩය ලොව පුරා විසිර සිටින සුවිශේෂී පුද්ගලයන්ගේ මෙන්ම සාමාන්‍ය ජනතාවගේද හද කම්පා කරන්නට හේතු වූ අතර තම කුරු බව නිසා පාසලේදී දැඩි සමච්චලයටත්, හිංසාවටත් ලක්වූ බේල්ස් වෙනුවෙන් අරමුදලක් ද වහ වහා ගොඩනැංවිණි. එය ඇමෙරිකානු ඩොලර් 6,18,000ද ඉක්මවා ඇති බව සඳහන්ය.

එහෙත් එයින් සතියක් ගත වෙන්නටද පළමු යළි බේල්ස් පිළිබඳ ලෝක අවධානය යොමු වූයේ ඔහු නව හැවිරිදි දරුවකු නොව 18 හැවිරිදි තැනැත්තකුය යන චෝදනාවද සමඟිනි. ඔහු තම වයස පිළිබඳව සඳහන් කර ඇත්තේ අසත්‍යයක් බව පැවසෙන මේ පුවතද ලොව පුරා පැතිර ගියේ තටු ලැබූ විලසිනි.
 
ඔහුත්, ඔහුගේ මවත් මේ සියල්ල සිදු කළේ සැලසුමකට අනුව බවත් හැකි තරම් යහමින් මුදලක් කඩා වඩා ගැනීම ඔවුන්ගේ අරමුණ වූ බව ජැස්මින් ඩව් නමැත්තියකගේ ෆේස්බුක් ගිණුමක් හරහා මේ චෝදනාව නැඟී තිබිණි. දැනට මකා දමා ඇති මේ ෆේස්බුක් පෝස්ටුවේ වූයේ මෙබඳු සටහනකි.
 
“just you know .. he scammed everybody. He’s 18 has plenty of money and yeah, everyone fell for it”
 
මේ චෝදනාව සම්බන්ධයෙන් ඔවුන් සාක්ෂිකොට ගෙන ඇත්තේ එක්තරා උපන්දින සාදයකදී ගත් ඡායාරූප කිහිපයක්. එහි අංක 18 දරන සැරසිල්ලක් අසල බේල්ස් සිට ගෙන ඉන්නා අයුරු දකින්නට ලැබෙයි. ඒ ගිනි පුපුර මහ ළැව් ගින්නක් ඇති කරන්නට සමත් විය. “Gucci” ටී ෂර්ටයක් හැඳගෙන ඒ උපන්දින සැරසිල්ල ඉදිරියේ සිටගෙන සිටීමම මේ චෝදනාව ඒක පාර්ශ්විකවම ඔප්පු කරන්නට ලෝකයට ප්‍රමාණවත් විය.
 
එහෙත්, එය සැබැවින්ම ප්‍රමාණවත් සාක්ෂියක්දැයි කසු කුසුවක් නැඟී ආවේ ඒ සමඟය. ඔහුගේ මිතුරියක් වූ ගාලන්ගේ 18 වැනි උපන් දිනයේ දී ලබා ගත් ඡායාරූපවලින් එකක් ඔහු විසින් මෙසේ අන්තර්ජාලයට එක්කොට තිබුණු බව හෙළිදරව් වූයේ ඒ සමඟය. සැබැවින්ම ඒ ඔහු තම මිතුරිය ගාලන්ගේ උපන්දින සාදයේදී ලබාගත් ඡායාරූප විය. එනමුදු මේ සැකය දුරු කරන්නට තව තවත් සාක්ෂිත් ඉදිරිපත් කරන්නට බේල්ස්ගේ පාර්ශ්වයට සිදුවී තිබේ.
 
ඒ සඳහා ඔවුන් යොදා ගන්නේ ඕස්ට්‍රේලියානු රූපවාහිනියක ඔහු පිළිබඳ සඳහන් වූ මුල්ම වතාවය. ඒ 2015 දීය. එවක ඔහුගේ වයස වූයේ අවුරුදු හතරකි. එම වීඩියෝවෙන් පැහැදිලි වන අන්දමට ඔහු එවක සැබැවින්ම වයස අවුරුදු හතරක් හෝ පහක පෙනුමෙන් යුතු දරුවෙක් විය. බේල්ස් වෙනුවන් පෙනී සිටින්නන් ප්‍රශ්න කරන්නේ තවත් පස් වසරක් ගෙවුණු පසු ඔහු දහ අට හැවිරිදි වන්නේ කෙසේද යනුවෙනි. අනෙක් අතට ඔහුට දැන් වයස දහ අටක් නම්, ඒ 2015 රූපවාහිනි වැඩසටහනේ ඔහු දහතුන් හැවිරිදි විය යුතුය. එහෙත් කිසිසේත්ම ඔහු එබඳු දහතුන් හැවිරිදි පෙනුමකින් යුතු නොවූ බවට 2015 වීඩියෝව සාක්ෂි දරයි.
 
අනෙක් අතට, යාරකා බේල්ස් විසින් 2012 දී පළ කළ තම පුත්‍රයාගේ ඡායාරූප පෙළක් ගැනද එහිදී අවධානය යොමු වී තිබේ. තම බිලිඳු පුත්‍රයා සමඟ මුහුදු වෙරළේ දී ගත් මේ ඡායාරූප සත්‍ය නම් 2020 පෙබරවාරිය වෙද්දී ඔහුගේ වයස දහ අටක් වන්නේ කෙසේදැයි ඇය ප්‍රශ්න කරන්නේ වේදනාවෙනි.
 
මේ වැඩසටහන හා සම්බන්ධ වූ ඉසබෙලා ස්ටීල් පවසන්නේ ඔහුට එරෙහි මේ කටකතා පැතිරුම නවතා දමන ලෙසය.
 
“ඔහුට වයස 18ක් කියමින් කරන මේ බොරුව වහාම නවත්වන්න. බේල්ස්ට දහ අටක් වෙන්නේ කොහොමද? 2015 දී වැඩසටහනට එක් වෙනකොට ඔහුගේ වයස අවුරුදු හතරයි. ඒක සහතිකයි. ඉතින් 2020 වෙද්දී 18ක්? මොකද ගණන් බැරිද?”
 
කුරු බව ඇති කරන ජාන විකෘතිතාවයේ (Achondroplasia) ගොදුරක් බවට පත්වූ මේ ඇබොර්ජින් පැංචා ගැන බොහෝ දෙනාගේ ආදරය දැන් වඩා වැඩි වී ඇති බවක් පෙනෙයි. ලොව ප්‍රධාන පෙළේ පුද්ගලයන්, මානව අයිතිවාසිකම් පිළිබඳ ක්‍රියාකාරීන් මෙන්ම මාධ්‍යවේදීන්ද ඔහුගේ පැත්තේ සිටගන්නට පටන් ගෙන තිබේ.