BREAKING NEWS
Search

ඒ චරිතය ගොඩක් සමීපයි කියලා මට හිතෙනවා -ත්‍රිෂාලා නතාෂිය-

576

වෙළෙඳ දැන්වීම් ඔස්සේ ජනප්‍රියත්වයට පත් ඇය නමින් ත්‍රිෂාලා නතාෂිය. ‘දෙවෙනි ඉනිම’ නාට්‍යය ඔස්සේ ඇය රංගනයට පිවිසි අතර, මේ වනවිට විශාල ජනප්‍රියත්වයක් හිමිකරගත් ටෙලිනාට්‍යයක් වන ‘හදවතේ කතාව’ ඔස්සේද ඇයගේ රංගන දක්ෂතා දැක බලාගැනීමට හැකියාව ලැබේ. ඇයගේ කලා කටයුතු පිළිබඳව කතාබහ කිරීමට  ඇයව අප මෙලෙස එක් කර ගත්තෙමු.

 

‘හදවතේ කතාව’ කොහොමද?

මේ දවස්වල ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශය වන ‘හදවතේ කතාව’ ටෙලි නාට්‍යය සමගයි වැඩකටයුතු කරන්නේ. එය ඇත්තටම ගොඩක් හොඳ ප්‍රතිචාරයක් තියෙන නාට්‍යයක් වෙලා තිබෙනවා.

 

මෙම නිර්මාණයට ඔබ එකතු වුණේ කොහොමද?

මෙහි අධ්‍යක්ෂකවරයා වන ශ්‍රියන්ත ප්‍රසාද් රත්නායකගෙන් තමයි මට මේ සඳහා අවස්ථාව ලැබෙන්නේ.

 

‘ශාඛ්‍යා’ ගැන කතා කරොත්?

‘ශාඛ්‍යා’ කියන්නේ මිනිස්සුන්ට උදව් කරන්න කැමති ගොඩාක් අහිංසක සරල චරිතයක්.

 

ඔබ කලාවට එකතු වෙන්නේ කොහොමද?

මම මුලින්ම කළේ වෙළෙඳ දැන්වීම්. අවුරුදු 10දී ඉඳන් තමයි වෙළෙඳ දැන්වීම්වල නියැළෙන්නේ. ටෙලි නාට්‍යවලට එකතු වෙන්න අවස්ථාව ලැබුණේ ‘දෙවෙනි ඉනිම’ ටෙලිනාට්‍යය ඔස්සේ. එතනින් තමයි රංගන ක්ෂේත්‍රයට එකතු වෙන්නේ. දැනටත් වෙළෙඳ දැන්වීමවල කටයුතු කරනවා. මම ගොඩාක් වෙළෙඳ දැන්වීම්වල කටයුතු කරලා තිබෙනවා. මෑතකදී ගොඩක් ජනප්‍රිය වුණේ ‘මැගී දයියා’ වෙළෙඳ දැන්වීමයි. ඊට අමතරව නර්තන කටයුතුත් කරනවා. දැනට මම මියුසික් වීඩියෝ කිහිපයක් සඳහාත් දායක වෙලා තියෙනවා. මම ගොඩක් ආසාවෙන් දායක වුණේ ‘රෝහිත රාජපක්ෂ’ ගේ ‘සිහිනයක’ කියන මියුසික් වීඩියෝව සඳහායි. ඒක ගොඩක් ජනප්‍රිය වුණ ගීතයක් කියලත් කියන්න පුළුවන්.

 

රංගන ක්ෂේත්‍රය තුළ වැඩකටයුතු තෝරා බේරා ගෙනද ඔබ කටයුතු කරන්නේ?

මම රංගන ක්ෂේත්‍රයට ඇවිල්ලා අවුරුදු තුනක් විතර තමයි වෙන්නේ. ලොකු කාලයක් නැහැ. රංගන වැඩකටයුතු කරද්දී මට ගැළපෙනවාද නැද්ද කියන දේ බලලා තමයි වැඩකටයුතු කරන්නේ.

 

සිනමාවට පැමිණීමට හීනයක් නැද්ද?

සිනමාවට පැමිණීමට නම් ලොකු හීනයක්, කැමැත්තක්  තියෙනවා. තාම අවස්ථාවක් ලැබුණේ නැහැ. ඉදිරියේදී බලමු.

 

ඔබට රසික ප්‍රතිචාර ලැබුණේ ‘දෙවෙනි ඉනිම’ටද? නැතිනම් ‘හදවතේ කතාව’ටද?

ඇත්තටම කිව්වොත් මගේ පළවැනි ටෙලි නාට්‍යය තමයි ‘දෙවෙනි ඉනිම’. මම ගොඩාක් මිනිස්සු අතරට ගියේ, ගොඩක් අය ආදරය කරන චරිතයක් වුණේ ‘දෙවෙනි ඉනිම’ නිසා. ඒ නිසා ඒ නාට්‍යයෙන් ආපු කෙනෙක් විදිහටයි මාව ගොඩක් අය දන්නේ. ඒ නිසා මට ගොඩක් අය අතරට යන්න ලැබුණා. ඒ වගේම ‘හදවතේ කතාව’ මිනිස්සු අතරට ගියා. ඒ වගේම ගොඩක් අය ආදරය කරන චරිතයක් වුණා. ඒ කතාව ඔස්සේද ලොකු රසික ප්‍රතිචාරත් දැන් ලැබෙනවා.

 

‘දෙවෙනි ඉනිම’ සහ ‘හදවතේ කතාව’ අතර ඔබට දැනෙන වෙනස කොහොමද?

මම ‘දෙවෙනි ඉනිම’ තුළ මම පාසල් චරිතයක් කළේ. ඒක චුට්ටක් නපුරු චරිතයක්. ඒකත් එක්ක බලද්දී ‘හදවතේ කතාව’ තුළ මට ලැබිලා තියෙන්නේ හාත්පසින්ම වෙනස් චරිතයක්. එහිදී මම ගොඩක් අහිංසක චරිතයක් කරන්නේ. මෙම චරිත දෙක අතර ලොකු වෙනසක් දැනෙනවා.

 

මේ චරිතවලින් ඔබේ ජීවිතයට ඇත්තටම සමීපතම චරිතය මොකක්ද?

ඇත්තටම කිව්වොත් මගේ ජීවිතයට සමීපතම චරිතය තමයි ‘හදවතේ කතාව’ ටෙලි නාට්‍යයේ ‘ශාක්‍යා’ චරිතය. මොකද මමත් කැමති සරල විදිහට ජීවත් වෙන්න. මගේ ජීවිතයට ඒ චරිතය ගොඩක් සමීපයි කියලා මට හිතෙනවා වගේම දැනෙනවා.

 

කලාව කියන දේ ඔබට හීනයක් වෙලා තිබුණද?

ඔව්, එය මගේ ලොකු හීනයක් වෙලා තිබුණා. ඒ හීනය අද වෙද්දී අද ගොඩක් දුරට සැබෑ වෙලා තියෙනවා. මට මේ සඳහා ගෙදරින් ලොකු සහයෝගයක් ලැබුණා. මොකද මගේ අම්මා කැමැත්තෙන් හිටියා මම රංගන ක්ෂේත්‍රය තුළින් ඉදිරියට යනවා බලන්න.

 

මේ සඳහා ඔබට ගෙදරින් ලැබෙන සහයෝගය?

මට මගේ දෙමාපියන්ගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. මගේ අම්මා පොඩි කාලේ ඉඳන්ම මගේ පිටි පස්සේ ඉඳන් මේ දේවල්වලට සහයෝගය දුන්නා. හැමදේටම ඉන්නවා. එයාගෙන් තමයි ලොකු සහයෝගයක් ලැබෙන්නේ. ඒ වගේම මගේ මාමා (උදිත අබේරත්න)ගෙනුත් ලොකු සහයෝගයක් ලැබෙනවා.

 

මේ දේවල් ඔබට ලැබුණේ වාසනාවටද? දක්ෂතාවටද?

මම නම් හිතන්නේ දක්ෂතාවට ලැබෙන දෙයක් කියලා. වාසනාවත් තියෙන්න ඕනේ. නමුත් ක්ෂේත්‍රය තුළ රැඳෙන්න අපිට දක්ෂතාව තියෙන්න ඕනේ. දක්ෂතාව තිබුණොත් තමයි මේ ක්ෂේත්‍රය තුළ ඉදිරියටම යන්න පුළුවන් වෙන්නේ.

 

ඔබගේ ලොකුම බලාපොරොත්තුව මොකක්ද?

මගේ ලොකුම බලාපොරොත්තුව තමයි රටේ හොඳ රංගන ශිල්පිනියක් වීම.

 

ඔබට අතහිත දුන්න අය ගැන මෙහිදී මතක් කළොත්?

මට මුලින්ම ක්ෂේත්‍රයට අවස්ථාව ලැබුණේ ‘දෙවෙනි ඉනිම’ හරහායි. එහි සාරංග මෙන්ඩිස් අයියා, චාමිකා මෙන්ඩිස් අක්කා සහ ශ්‍රියන්ත ප්‍රසාද් අයියා, රුමේෂ් ටොලමි අයියා, වගේම මම ‘දෙවෙනි ඉනිම’ට සම්බන්ධ වුණේ නිරුක්ෂාන් ඒකනායක අයියා හරහායි. ඒ අයට ස්තූතිවන්න වෙනවා. ඒ වගේම මගේ මාමා උදිත් අබේරත්න, මගේ අම්මා සහ පවුලේ අයට මම මෙහිදී ගොඩක් ස්තූතිවන්ත වෙනවා මට මේ තරම් දුරට පැමිණීමට ලබාදුන්න සහයෝගය නිසා.

Image result for thrishala nathashi